Wednesday, 15 June 2016

හම්බන්තොට සංවර්ධනය හා වන සත්ව සංහාරය!

හම්බන්තොට ස්වර්ණමාලි වැව් රක්ෂිතයේ තිබී දඩයක්කරුවන් විසින් අටවන ලද මන්දකට හසුවී මියගිය මාස තුනක් පමණ වයසැති අලිපැටවකුගේ මළසිරුරක් හම්බන්තොට වනජිවිකාර්යාලයේ නිලධාරීන්ට හමුවී තිබේ .

වනජීවී නිලධාරින් පැවසුවේ අලිපැටවා මියගොස් දින දෙකක්  පමණ ගතවූ පසු ඒ සම්බන්ධයෙන් දැනගන්නට ලැබුණු බවයි.විවිධ පුද්ගලයින් මුවන්, ගෝන්නු, ජාවාරම් සඳහා මීහරක් ඇල්ලීමට අටවන ලද මලපුඩුවකට හසුව මෙම අලිපැටවා මියගොස් තිබෙන අතර වනජීවී නිලධාරින් එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී තවත් එවැනි මලපුඩු 50 කට අධික සංඛ්‍යාවක්ද සොයාගැනීමට හැකිවී තිබේ .

ele calf dead due to electrocuted wires

කෙසේනමුත් සතුන් දඩයම සඳහා අටවන ලද මෙවැනි මලපුඩු වල නිරන්තරයෙන් අලිපැටවුන් මෙන්ම වැඩුණු   ආලින්ද හසුවන බවත් එහිදී වන අලින් තුවාල ලබා හෝ මේ ආකාරයෙන් මියයාමට ලක්වන බවත් බොහෝවිට හෝඬවල මලපුඩුවලට  හසුවී තුවාල ලබා අහාර ගැනීමට නොහැකිව වන අලි මිය යාමට ලක්වේ.  එමෙන්ම  මෙම අලිපැටවා බේරාගැනීමට අලි රංචුව විශාල වෙහෙසක් ගෙන ඇති බව ද  හම්බන්තොට වන ජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිවූ එම්.ඒ.ගුණතුංග පෙන්වාදෙයි .

පසුගිය කාලයේ සිට මේ දක්වා හම්බන්තොට දිස්ත්‍රීක්කයේ වන අලි ඇතුළු වන සතුන් වෙසෙන ප්‍රදේශයන් හෙළි කරමින් විවිධ සංවර්ධන කටයුතු සිදුකිරීම නිසා වන සතුන්ගේ වාස භූමි ඔහුන්ට අහිමි වී තිබේ. මෙහිදී ඉතිරිව තිබෙන කැලෑ ප්‍රදේශයන්හි වන අලින් ඇතුළු වන සතුන් බහුලව වෙසෙන කලාප  දඩයක් කරුවන්ගේ නිජබිම් බවට පත් කරගෙන තිබේ .

වනජීවී නිලධාරීන් නිරන්තරයෙන් වැටලීම් කළත් ඔවුන්ටද මෙය පාලනය කළ නොහැකි කටයුත්තක් බවට පත්ව තිබීම කනගාටුවට කරුණක් වේ .

elephant human conflict in sri lanka

මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ප්‍රධාන සංවර්ධන කලාප බවට පත්කර තිබෙන්නේ වනසතුන් බහලුව ජීවත්වූ ප්‍ර‍දේශවේ පසුගිය රජය මගින් උජාරුවට කරගෙන ගිය මෙම වන සංහාරය වර්තමාන රජය විසින්ද එලෙසම කරගෙන යාම කනගාටුට කරුණක් බව පරිසර සංරක්ෂණ භාරයේ සභාපති සජීව චාමිකර පෙන්වාදෙයි

වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය රජයෙන් ක්‍රියාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක්‍රමවත්  සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් මේ වන විට හම්බන්තොට ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක වර්ධනය වෙමින් තිබෙන බවද ඔහු පවසයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස   පසුගිය වසර දෙක තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි - ඇතුන් 14ක් පමණ වෙඩි තබා හෝ විදුලිසැර යොදා ඝාතනය කර තිබේ. එපමණක් නොව අලි - ඇතුන්ගේ ප්‍රහාරයට ලක් ව මිනිසුන් 8 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් දෙදෙනකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටී. 

මේ තත්ත්වය පාලනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළ "හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය" ප්‍රකාශයට පත් නොකිරීම හා ඊට අයත් වනාන්තර ඉඩම් මහවැලි අධිකාරිය සීඝ්‍රයෙන් එළිපෙහෙළි කර බොරළු කැණීම, කළු ගල් කැඩීම මෙන්ම විවිධ සංවර්ධන කටයුතු හා වාණිජ වගාවන් සඳහා ලබා දීම හේතුවෙන් මේ තත්ත්වය තව තවත් උග්‍ර වෙමින් පවතින බවත්. එසේ තිබිය දී මෙම යෝජිත රක්ෂිතයෙන් තවත් අක්කර 1000ක් චීන කර්මාන්තපුරයක් ඉදි කිරීම සඳහා ලබා දීමට පසුගියදා අගමැතිතුමන්ගේ චීන නිල සංචාරයේ දී එකඟ වී තිබෙන බවත් පරිසරවේදී සජීව චාමිකර  ප්‍රකාශකර සිටියි.

wildlife in danger due to human activities

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මේවනවිට  අයිරිෂ්, ඇනෝචි, ෆාර්නා, නැවිටාස් යන සමාගම් විසින් සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා තිස්සපුර, බුරුතංකන්ද ප්‍රදේශයේ  වනාන්තර අක්කර 600ක් නීති විරෝධී ලෙස සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබෙන බව ඔහු පෙන්වාදෙයි

මිට දින කීපයකට පෙර මෙම සුර්ය බලශක්ති මධ්‍යස්ථානයක් මගින් එලන ලද විදුලි කම්බියක ගැටී සංරක්ෂිත සතෙකු වන කැබැල්ලෑවෙකු මියගොස් තිබිණි .

1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත   1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන  ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන්  පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට  යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන සියලු සංවර්ධන කටයුතු මේ පනත් උල්ලංඝනය කරමින් සිදු කෙරෙන බව සජීව චාමිකර පෙන්වාදෙයි.

‘’යොජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියට අයත් සුවිශේෂී වනාන්තර පද්ධති ගණනාවක් පිහිටා තිබේ. එම වනාන්තර සියල්ලම පසුගිය කාලය මුළුල්ලේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කරන ලදී. නමුත් අද වනවිට එම වනාන්තර වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීමට, බොරළු හා කළු ගල් ලබා ගැනීමට සමාගම්වලට හා විවිධ පුද්ගලයින්ට මහවැලි අධිකාරියෙන් ලබා දීම සිදු කරයි. මහවැලි අධිකාරියට අවශ්‍යම වන්නේ මුදල් ඉපයීම පමණි. ඔවුන් වන සතුන්ගේ පැවැත්ම හෝ ජල පෝෂක වල පැවැත්ම පිළිබඳව කිසිදු අවබෝධයක් හෝ ඒ පිළිබඳව සිතා බැලීමක් හෝ සිදු නොකරයි.’’

හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමට ප්‍රථමයෙන්  සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ සංවර්ධන කටයුතු සමග අවතැන්වන අලි - ඇතුන්ට රැකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට  පත් කළ යුතු බව ය. නමුත් එය එම වාර්තාවලට පමණක් සීමා කර දැනට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් හම්බන්තොට සංවර්ධනයේ දැවැන්ත ගොදුරක් බවට පත් ව තිබේ. මේ තතන්නේත්වය හේතුවෙන් වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඩිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව හා උණුදිය පොකුණ ආදී ප්‍රදේශයන් හි  අලි - මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත් ව තිබෙන බව පරිසර සංරක්ෂණ භාරයේ  සභාපති සජීව චාමිකර පෙන්වාදෙයි.

හම්බන්තොට සංවර්ධනය වූ දිනයන්ට  වඩා මේ වනවිට අලි කළමනාකරන රක්ෂිතය අඩුවෙලා තියෙන්නේ. නමුත් තීරණයක් අරගෙන තිබෙනවා අලි සංරක්ෂණ  ප්‍රදේශ ගැසට් කරන බවට නාගරික සංවර්ධන ආධිකාරිය තීරණයක් අරගත්තා අලි කළමනාකරණ ප්‍රදේශයක් හැටියට  මේ ප්‍රදේශය වෙන්කරන්න යම් විදියකින් මෙහි ඉඩම් නැවත ගත්තොත් අලි මිනිස් ගැටුම වර්ධනය වන බවයි වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය ප්‍රකාශ කළේ.

සටහන හා ඡායා රූ - රාහුල් සමන්ත